31 වෙනුවෙන් කොළඹ හෙට සිදුවන වෙනස

2026 නව වසර උදාව සැමරීම සඳහා දෙසැම්බර් 31 දින එනම් හෙට දිනයේ විශාල ජනතාවක් කොළඹ නගරය වෙත පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බැවින් විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කර එම සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව අදාළ පොලිස් වසම්වල හෙට දිනයේදී සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කෙරෙන අතර අධික රථවාහන තදබදයක් ඇති වන අවස්ථාවලදී පමණක් අවස්ථානුකූලව විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිටවන වාහන එන් එස් ඒ වටරවුම, ගාලු මැද පාර බාලදක්‍ෂ මාවත හන්දියෙන් වමට හැරී බාලදක්‍ෂ මාවත අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කළ යුතු වනවා.

ගාලු මැද පාර ඔස්සේ ගාලු මුවදොර වටරවුම දෙසට කොළඹට ඇතුළුවන වාහන බාලදක්‍ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කළ හැකියි.

ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කළ නොහැකි බවද පොලීසිය සඳහන් කළා.

බාලදක්‍ෂ මාවතේ අතුරු මාර්ගවලින් පැමිණෙන සියලු වාහන දකුණට හරහා අලියා නාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ගවලින් ඇතුළුවන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීමට හැකියි.

menu
menu